කොටස 04
කොටස 04
✍️ Lahiru Hashan Gunarathne • ⏱️ විනාඩි 3ක කියවීමක් • 👁️ බැලූ අය 3 • 📖 කියවූ අය 2
අපි දෙන්නා හති දදා බිම වාඩි වුණා. කවිඳුගේ ටෝච් එක අර පහර ගහපු වෙලාවේ බිම වැටිලා කැඩිලා තිබුණා. දැන් අපිට තිබුණේ මගේ ෆෝන් එකේ ටෝච් එක විතරයි. ඒකෙත් බැටරි තිබුණේ 15% යි.
දඩාස්! දඩාස්! දඩාස්!
එළියෙන් අර වියරු ආත්මය දොරට හයියෙන් ගහන්න පටන් ගත්තා. දොරේ ලී පතුරු ගැලවිලා යන තරමට ඒ පහරවල් සැරයි.
"මගේ කාමරෙන් එළියට වරෙල්ලා... උඹලට මගෙන් බේරෙන්න බෑ...!" ඇය දොර පිටිපස්සේ ඉඳන් නියපොතු වලින් දොර හූරන ගමන් කෑගැහුවා. ක්‍රීස්... ක්‍රීස්... කියන ඒ සද්දේ ඇහෙද්දී මගේ කන් දෙක වහගත්තා.
එතකොටයි මට තේරුණේ අපි මේ ඇවිත් හැංගිලා ඉන්නේ කොහෙද කියලා. මම ෆෝන් එකේ එළිය කාමරේ වටේට ගැහුවා.
දෙයියනේ! මේක තමයි සෝමපාල මාමා කොයිම වෙලාවකවත් අරින්න එපා කියපු උඩ තට්ටුවේ කෙළවරේම කාමරය!
මේ කාමරේ අනිත් ඒවට වඩා හාත්පසින්ම වෙනස්. බිත්ති පුරාම අඟුරු වලින් ඇඳපු අමුතු යන්ත්‍ර මන්ත්‍ර රූප තිබුණා. කාමරේ මැද තිබුණේ පරණ ලී පුටුවක්. ඒ පුටුව උඩත්, ඒ වටේ බිමත් වේලිච්ච ලේ පැල්ලම් තිබුණා. කාමරේ කොනක පරණ මේසයක් උඩ තිබුණේ දූවිලි වැදුණු දිනපොතක් (Diary) සහ පරණ පත්තර කෑලි වගයක්.
"සහන්... මේ බලපන්..." කවිඳු වෙව්ලන අතින් අර මේසේ උඩ තිබුණු පත්තර කෑල්ලක් අතට ගත්තා. ඒක 1985 අවුරුද්දේ පත්තරයක්.
මම ෆෝන් එළිය ඒකට ඇල්ලුවා. ඒකේ තිබුණු ප්‍රවෘත්තිය කියවපු අපි දෙන්නගේම ඇඟේ මයිල් කෙලින් වුණා.
"සිල්වර් ඩේල් බංගලාවේ ඛේදවාචකය! තරුණ බිරිඳව කාමරයක සිරකර වධ දී මරා දැමූ වතු අධිකාරිවරයා සියදිවි නසාගනී!"
කවිඳු ඉක්මනට අර දිනපොත පෙරළුවා. ඒකේ අන්තිම පිටුවල ලියලා තිබුණේ මේ බංගලාවේ හිටපු 'මේධා' කියන තරුණ බිරිඳගේ අත්අකුරින්. ඇගේ සැමියා සැකය නිසා ඇයව මේ කාමරේට දාලා මාස ගාණක් තිස්සේ කන්න බොන්න නොදී වධ දීලා තියෙනවා. අන්තිමට එදා වගේම මහ වැහි කුණාටුවක් තිබුණු අමාවක දවසක රෑ 12ට, ඔහු ඇගේ බෙල්ල කඩලා මරලා, මළසිරුර මේ කාමරේ බිම ලී ලෑලි අස්සේ හංගලා තියෙනවා! ඊට පස්සේ මිනිහත් වෙඩි තියාගෙන මැරිලා.
දිනපොතේ අන්තිමට ලේ වලින් වගේ ලියලා තිබුණු වාක්‍යය දැකලා මගේ හුස්ම හිරවුණා.
"මගේ ඇටකටු මේ කාමරේ ලෑලි යට තියෙනකම් මට නිදහසක් නෑ. අමාවක රෑට මේ ගෙදරට එන ඕනෑම පිරිමියෙක්ගෙන් මම පළිගන්නවා! උන්ගේ ලේ වලින් මගේ පිපාසය නිවාගන්නවා!"
"සහන්... ඒකි... ඒකි ඉන්නේ එළියේ නෙවෙයි බං..." කවිඳුගේ කටහඬ උගුරේ හිරවුණා.
එතකොටම දොරට ගහන සද්දේ නතර වුණා. මුළු කාමරේම පුදුම නිහඬතාවයක ගිලුණා.
කිරි... කිරි... කිරි...
සද්දේ ආවේ අපි හිටගෙන හිටපු කාමරේ ලී පොළොව යටින්! අපි දෙන්නා බිම බැලුවා. කාමරේ මැද තිබුණු ලී ලෑලි කිහිපයක් ඉබේම උඩට ඉස්සෙන්න පටන් ගත්තා. ඒ ලෑලි අස්සෙන් මතු වුණේ කුණු වෙච්ච, ඇටකටු පෑදුණු අත් දෙකක්! ඒත් එක්කම අර වියරු ගැහැණු ආත්මය පොළොව යටින් කාමරේ ඇතුළටම මතු වුණා!
අපි දොර ලොක් කරගෙන හැංගුනේ ඇයගෙන් බේරෙන්න වුණාට, අපි ඇවිත් හිරවෙලා තිබුණේ ඇගේම මිනීවළ ඇතුළේ! එහෙනම් යාළුවනේ පස්වෙනි අවසන් කොටසත් කියවන්න කියලා ආරාධනා කරනවා!...