කොටස 03
කොටස 03
✍️ Lahiru Hashan Gunarathne • ⏱️ විනාඩි 4ක කියවීමක් • 👁️ බැලූ අය 4 • 📖 කියවූ අය 2
සාලයට ආපු ගමන් අපිට දැනුණේ පුදුම හීතලක්. හරියට ෆ්රීසර් එකක් ඇතුළට ආවා වගේ. අපි හුස්ම ගන්නකොට කටින් දුම් පිටවෙන තරමට සීතල වැඩියි. කවිඳු ටෝච් එක පඩිපෙළ පාමුලට ගැහුවා.
එතන බිම වැටිලා තිබුණේ පරණ, මළකඩ කාපු ලන්තෑරුමක්! ඒත් පුදුමේ කියන්නේ, ඒ ලන්තෑරුම තාමත් හෙමින් හෙමින් බිම වැනෙනවා, හරියට දැන් තත්පරයකට කලින් කවුරුහරි අතෑරියා වගේ.
"මේ... මේක අර සෝමපාල මාමා අතේ තිබුණු ලන්තෑරුම වගේමයිනේ බං..." මම කෙඳිරුවා.
ඒත් එක්කම කවිඳු ටෝච් එක පඩිපෙළ දිගේ උඩට යොමු කළා. පඩිපෙළ මුදුනේ බිත්තියේ එල්ලලා තිබුණු අර ගැහැණු ළමයාගේ චිත්රය දිහා බලපු මගේ ඇඟම සීතල වෙලා ගියා.
"ක... කවිඳු... අර චිත්රය දිහා බලපන්!" මම වෙව්ලන ඇඟිල්ලක් දික් කළා.
අපි ගෙදරට එද්දී ඒ චිත්රයේ හිටපු ගැහැණු ළමයාගේ මූණේ තිබුණේ දුක්බර පෙනුමක්. ඒත් දැන්... දැන් ඒ චිත්රයේ ඉන්න කෙනා කට කොනකින් වියරු හිනාවක් දාගෙන කෙලින්ම අපි දිහා බලාගෙන ඉන්නවා! ඒ විතරක් නෙවෙයි, ඒ චිත්රයේ ඇස් දෙකෙන් ලේ පාට දියරයක් බිත්තිය දිගේ පහළට ගලාගෙන එනවා.
"මොන හු@#ක්ද මේ වෙන්නේ?!" කවිඳු අඩියක් පස්සට ගත්තා. දැන් නම් එයාගේ මුළු ඇඟම වෙව්ලනවා.
එකපාරටම උඩ තට්ටුවේ කෙළවරේම කාමරේ දෙසින් ගැහැණු කෙනෙක් හයියෙන් අඬන සද්දයක් ඇහෙන්න ගත්තා. ඒක සාමාන්ය ඇඬිල්ලක් නෙවෙයි, හදවත පසාරු කරගෙන යන, මහා වේදනාවකින් කෑගහන විලාපයක්.
"අනේ මාව බේරගන්න... මාව මේකෙන් එළියට ගන්න...!"
ඒ කටහඬ හරිම පැහැදිලියි. ඒක ඇහුණේ උඩ තට්ටුවේ කෙළවරේ කාමරෙන්.
"සහන්... කවුරුහරි ගෑනු කෙනෙක්ව උඩ කාමරේක හිර කරලා තියෙනවද දන්නේ නෑ! සෝමපාලයා අපිට උඩට යන්න එපා කිව්වේ ඌ මොකක් හරි අපරාධයක් කරලා හංගගෙන ඉන්න නිසාද දන්නේ නෑ!" කවිඳු කිව්වා.
"පිස්සුද බං! අර චිත්රය දැක්කේ නැද්ද? මේක මනුස්සයෙක්ගේ වැඩක් නෙවෙයි. යමන් කාර් එකට, අපි දැන්මම මෙහෙන් යමු!" මම කවිඳුගේ අතින් ඇදගෙන ප්රධාන දොර ළඟට දිව්වා.
මම දොරේ අගුල කරකවලා ඇද්දා. දොර ඇරෙන්නේ නෑ! මම මුළු හයියම දාලා ඇද්දා. යතුර දාලා කැරකෙව්වා. ඒත් යතුර කැරකෙන්නෙවත් නෑ. හරියට දොර පිටිපස්සෙන් කවුරුහරි වෙල්ඩින් කරලා වගේ තද වෙලා.
"දොර ඇරෙන්නේ නෑ කවිඳු! අපි ජනේලයක් කඩමු!"
අපි සාලේ ජනේල ළඟට දිව්වා. ඒවට දාලා තිබුණේ මහත යකඩ කූරු. කොහොමටවත් එළියට පනින්න විදිහක් නෑ. ඒ අතරේ අර උඩ තට්ටුවෙන් ආපු ඇඬිල්ල එකපාරටම නතර වුණා.
ඊළඟ තත්පරයේදී ඇහුණේ මහා වියරු හිනාවක්.
"හහ් හහ් හා... උඹලට යන්න බෑ... අද රෑ කාටවත් යන්න බෑ...!"
ඒ කටහඬ ඇහුණේ උඩ තට්ටුවෙන් නෙවෙයි, හරියටම අපේ පිටිපස්සෙන්!
මමයි කවිඳුයි එකපාරටම පිටිපස්ස හැරුණා. කවිඳුගේ ටෝච් එළිය වැටුණේ පඩිපෙළ මැදට. එතන හිටගෙන හිටපු දේ දැකලා මගේ කටින් කෑගැහිල්ලක් පිටවුණා.
පඩිපෙළ මැද හිටගෙන හිටියේ අර චිත්රයේ හිටපු ගැහැණු ළමයාමයි. හැබැයි ඇය හිටියේ මනුස්ස ස්වරූපයෙන් නෙවෙයි. ඇගේ සුදු ගවුම ලේ සහ මඩ වලින් පෙඟිලා තිබුණා. කොණ්ඩේ මූණ පුරාම විසිරිලා. ඇගේ බෙල්ල එක පැත්තකට අංශක අනූවක් විතර කැඩිලා එල්ල වැටිලා තිබුණා. කළු ඉංගිරියාවක් නැති, සුදුම සුදු පාට ඇස් දෙකෙන් ඇය අපි දිහා බලාගෙන හිටියා. ඇගේ කට කන් දෙක ළඟටම ඉරිලා වගේ ඇරිලා තිබුණේ.
"දුවපන් සහන්! උඩට දුවපන්!"
පහළ තට්ටුවේ කාමරවලට යන්න නම් අපි අර අවතාරය පහු කරගෙන යන්න ඕනේ. ඒ නිසා අපිට ඉතුරු වෙලා තිබුණු එකම පාර වුණේ පඩිපෙළේ අනිත් පැත්තෙන් උඩ තට්ටුවට දුවන එක විතරයි. අවතාරය එකපාරටම අතපය හතරෙන්ම බිම බඩගාගෙන වගේ පුදුම වේගයකින් අපි දිහාට පැන්නා.
අපි දෙන්නා පණ එපා කියලා පඩිපෙළ දිගේ උඩට දිව්වා. මගේ කකුල පැටලිලා මම පඩිපෙළේ වැටුණා. ඒත් එක්කම අයිස් කැටයක් වගේ සීතල, දිග නියපොතු තියෙන අතක් මගේ කකුලේ වළලුකරෙන් තදින් අල්ලගත්තා!
"කවිඳු! මාව බේරගනින්!" මම මරහඬ දුන්නා.
කවිඳු ආපහු හැරිලා අතේ තිබුණු ලොකු යකඩ ටෝච් එකෙන් අර අවතාරයේ මූණටම හයියෙන් පාරක් ගැහුවා. ඒත් එක්කම මහා තිරිසන් ගෙරවිල්ලක් පිට කරපු ඒ ආත්මය මගේ කකුල අතෑරියා. කවිඳු මගේ අතින් ඇදගෙන උඩ තට්ටුවේ කොරිඩෝව දිගේ දිව්වා.
අපි දැක්කා ඉස්සරහින්ම තියෙන කාමරේක දොර බාගෙට ඇරිලා තියෙනවා. අපි දෙන්නා ඒ කාමරේ ඇතුළට පැනලා දොර වහලා අගුල දැම්මා. ඊට පස්සේ කාමරේ තිබුණු ලොකු ලී අල්මාරියක් තල්ලු කරලා දොරට හේත්තු කළා.